Parenthrive - Nurturing families, strengthening communities Narcissistic දෙමාපියන් කියන්නෙ කාටද ? ලිපි අංක -01
image

ඔබත් එවැනි අයෙක් ද??

 

Narcissistic personality disorder (NPD) කියන්නෙ ප්‍රශංසාවට ලොකු කැමැත්තක් තියෙන අය වගේම තමයි  අනෙක් මිනිසුන් ගැන කිසිම සංවේදනයක් නොමැතිකම පිළිබඳව මානසික ආබාධයක්. හැබැයි මෙයාලගෙ අභ්‍යන්තරයේ තියෙන්නෙ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්.මොකද මෙයාලා සුළු විවේචනයකට පවා බිඳෙන සුළු ආත්ම අභිමානයක් තියෙන පිරිසක් වෙනවා.මේ දෙමාපියන් තමන්ගෙ දරුවන් ස්වාධීන වෙනවට බයයි. ඒ නිසා මෙයාල තමන්ගෙ දරුවන් හැමවෙලේම  ලැජ්ජාවට පත් කරනවා. මානසිකත්වය පහලට දානවා. මේ දෙමව්පියන් විසින් ඇති දැඩි කරන දරුවන් දුර්වල ආත්ම අභිමානයකින් යුක්ත වෙනවා කියලා මේ වෙද්දි ලෝකේ බොහෝ පර්‍යේශකයන් සොයාගෙන තියෙනවා.මේ තත්වය දරුවෙකු වැඩිහිටි වියට පත්වුණාට පසුව ඔහුගේ/ඇයගේ ස්වයං කඩාකප්පල්කාරී හැසිරීම් වලට හේතු වෙන්නත් පුළුවන්.

 

Narcissistic දෙමාපියන්ගේ පොදු සංඥා දෙස අවධානය යොමු කළොත් ඔබට මෙන්න මේ හැසිරීම් වගේම ලක්ශණ තිබෙන දෙමාපියන් ගැන මතක් වේවි..

 

  • මොවුන් දරුවන්ට "ආදරය" කරන්නේ දරුවාගෙ ජයග්‍රහණ වගේම සාර්ථකත්වයන් ඔවුන්ට වාසිසහගත වෙද්දි විතරයි.

 

  • Narcissistic දෙමාපියෙකු ලැජ්ජාවට පත් වුවහොත් ඉතාම ආත්මාර්ථකාමී ලෙස ප්‍රතිචාර දක්වනවා. බොහෝ විට, ඔවුන්ගේ ඒ ක්‍රියාවන් සඳහා වගකීම භාර ගන්නේ කෙසේදැයි ඔවුන්වත් දන්නේ නෑ.හරිම ඉක්මන් තීරණ ගන්න නිසා බොහෝ වෙලාවට ඔවුන්ගේ හැසිරීම් වල ප්‍රථිඵලය තව කෙනෙක්ට අවාසි සහගත වෙන්න ඉඩ තියෙනවා.

 

  • තමන්ගේම හැසිරීම් වලට ඔවුන් කරන්නේ අන් අයට දොස් පවරන එක. ඒ කියන්නෙ පුද්ගලිකව තමන් කල දේවල් ගැන වගකියන්න ඔවුන් කැමති නෑ. ඔවුන්ගේ හැසිරීම අනිත් අයට බලපාන ආකාරය ගැන ඔවුන් බොහෝවිට දන්නෙ නෑ.ඒ වගේම අනෙක් අය ගැන සිතන්නෙත් නෑ. 

 

  • බොහෝවිට දරුවන්ගේ අවශ්‍යතා සහ හැඟීම් කෙරෙහි අඩු සැලකිල්ලක් දක්වනවා.නමුත් සමහරුන් සම්පූර්ණයෙන්ම උනන්දුවක් නොදක්වා කටයුතු කරනවා.

 

  • හැම වෙලාවකම තමන්ගේ අවශ්‍යතාවලට මුල් තැන දෙනවා. උදාහරණයක් විදියට දෙමාපියන් ඇවිදින්න කැමති නම්, දරුවන් ද අනිවාර්යයෙන් ම සෑම සති අන්තයකම ඊට එකතු විය යුතුයි කියලා ඔවුන් සිතනවා.එම ගමන යෑමට දරුවා සුදුසුද, දරුවා කැමතිද ආදී කිසිම දෙයක් ගැන ඔවුන් සිතන්නේ නෑ.සමහර වෙලාවට එයාල ආස දේවල් දරුවගෙ ත්‍යාග ප්‍රධානෝත්සවයක් වැනි වැදගත් දෙයක් වෙනුවෙන් පවා මග හැරගන්නේ නෑ.

 

  • සමහර විට පවුලේ එක් දරුවෙකුට වඩා වැඩි කැමැත්තක් දක්වනවා. ඒ කියන්නෙ එක් දරුවෙකු ගැන නරක ලෙස කතා කරන අතරතුර, ඕනෑවටත් වඩා ප්‍රශංසා කරන රත්තරං100%ක් නිවැරදි යැයි ඔවුන් සිතන දරුවෙකු ඔවුන්ට ඉන්නවා. එලෙස අනෙක් දරුවන්ව චිත්තවේගීයව නොසලකා හැරීම හෝ අතහැර දැමීම තුළින් අනෙක් දරුවන්ට මානසික අපහසුතාවයක්, ද්‍රෝහිකමක් හා මානසික අනාරක්ෂිත බවක් දැනෙන්නට පුළුවන්. මේ තත්ත්වය පසු කාලීනව එම දරුවාට ඉතාමත් අහිතකර විදියට බලපානවා.

 

  • ඔවුන්ගේ ආදරය කොන්දේසි සහිතයි. තමන්ගෙ දරුවන් පාලනය කිරීමට නිතර නිතර දොස් පැවරීම, වරදකාරී හැඟීම් ඇති කිරීම හෝ අසාධාරණ බලාපොරොත්තු ඇති කිරීම වැනි Narcissistic උපක්‍රම භාවිතා කරනවා.

 

  •  තමන්ගෙ පවුලේ පිටට පේන ප්‍රතිරූපය ගැන ඔවුන් පමණට වඩා ඉතාමත් උනන්දු වෙනවා. ඒ කියන්නෙ සමහර වෙලාවට පවුලේ අයට උසස් අය ආශ්‍රය කරන්න, ප්‍රසිද්ධියේ හැසිරෙන්න, ඒ විදියට අඳින්න පළඳින්න, කතා කරන්න කියල ඉල්ලා සිටින්න වුණත් ඔවුන් මැලි වන්නේ නෑ.ඔබේ අවට සමාජය තුළ මෙවැනි දෙමව්පියන් ඉතාමත් බහුලව ඔබට වර්තමානයේ දැකගන්න පුළුවන්.

 

  • තමන්ට අවශ්‍ය දේ ලබා ගන්න වරදකාරී හැඟීම් ඇති කිරීම උපක්‍රමයක් ලෙස භාවිතා කරනවා. ඒ කියන්නෙ උදාහරණයක් විදියට ගත්විට, දරුවෙක් යම් දෙයක් කිරීම ප්‍රතික්ෂේප කරනව නම්, "උඹ අපිට සළකන්න දන්නෙ නෑ,මේවා ඔයාලගෙ වගකීම්, මේවා නොකරන ළමයි මොකටද අපිට" කියමින් ඔහුට/ඇයට වරදකාරි හැඟීම් ඇති කරවනවා.