Parenthrive - Nurturing families, strengthening communities නායකත්වය ආරම්භ වන්නේ නිවස තුළින්?
image

දෙමාපියන් සර්ව සාර්ථක මිනිසුන් නොවේ. ජීවිත අරගල හමුවේ පොරබඳිමන් දරුවන්ට සැපවත් ජීවිතයක් ලබා දීමට කැපවෙන්නා ව‍ූ පිරිසකි. මෙම අභියෝගාත්මක ගමනේ දී තමන්ගේ භූමිකාව, තම හැකියාවන් ඔප්පු කිරීමට හෝ දරුවන් ඇති දැඩි කිරීමේ දක්ෂතාවය මැනීමේ යමක් නොවන බව දෙමාපියන් ලෙස අප අවබෝධ කරගත යුතු ය. ඒ වෙනුවට දෙමාපියන් ලෙස අප ගමන් ගන්නා මෙම ගමන සහ එහි උඩු යටිකුරුවීම් මානව අත්දැකීමේ තවත් එක් කොටසක් බව සිතීමට පුරුදු වීම වැදගත්ය. ඔබ අතින් වැරදි වූ විට ඒවා පිළිගනිමින් ඔබේ නායකත්ව කුසලතා දරුවන්ගේ මාර්ගෝපදේශය වීමට ඉඩ දෙන්න. නිවස තුළින් නායකත්වය අරඹමින් ඔබේ දරුවාට සාර්ථකත්වයට මඟ පෙන්වන්නේ කෙසේද?

 

ඔබේ දරුවාට ස්වාධීන වීමට ඉඩ දෙන්න.

විවේචනයෙන් තොරව තමන්ගේ කටයුතු තමන්ට හැකි අයුරින් කරගැනීමට දරුවාට ඉඩ දෙන්න. දරුවන් ඉගෙන ගන්නේ ජීවිතයේ තම ප්‍රායෝගික අත්දැකීම් තුළිනි. දෙමාපියන් ලෙස දරුවාගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම ඉතා වැදගත්. එහෙත් අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීම දරුවන්ගේ ස්වාධීන වර්ධනයට හානි පමුණුවයි. ස්වාධීනව වැඩ කිරීම සහ තම ශක්තියෙන් අභියෝග විසඳීම පහසුවෙන් නිවසේදී ඉගැන්විය හැකි, ජීවිත කාලය පුරාම දරුවාට උපකාරී වන කුසලතාවකි. ස්වයං පාලනයක් සහිතව, මූලිකත්වය ගැනීම සහ අවම මඟ පෙන්වීමකින් කටයුතු කිරීමට හැකිවීම අනාගතයේදී පාසලේ සිට රැකියා ස්ථානයට සංක්‍රමණය වීම ද දරුවාට පහසු කරනු ඇත,

 

තීරණ ගැනීමේදී දරුවන්ද සම්බන්ධ කරගන්න.

දරුවන් සම්බන්ධ, ඔවුන්ට සෘජුව බලපාන තීරණ ගැනීමේදී  දරුවන්ද සම්බන්ධ කරගන්න. උදාහරණයක් ලෙස ගෙදර වැඩ කිරීම මේ සඳහා දැක්විය හැකිය. එය රාත්‍රියේදී සිදු කළ යුතු කාර්යයක් වුවද, සිදු කරන කාලය දරුවා විසින් තෝරා ගැනීමට ඉඩලබා දිය හැකිය. “නින්දට යාමට පෙර” “රෑ කෑමට පෙර”යනාදි ලෙස කාල සීමාවන් ප‍ණවන්න.  අවධානය යොමු කිරීමට සහ ගෙදර වැඩ සම්පූර්ණ කිරීමට හොඳම වේලාව කුමක්දැයි හඳුනා ගැනීමට ඔවුන්ට උදවු කරන්න. ඔවුන් තෝරන ලද වේලාවට අනුව ක්‍රියා කරන්නේ ද ක්‍රියා නොකරන්නේද නිරීක්ෂණය කරන්න. ඊට හේතු මොනවාදැයි තේරුම් ගැනීමට සහ එම කාල සටහන් අවශ්‍ය පරිදි සකස් කරගැනීමට ඔවුන්ට උදවු කරන්න. මෙම ක්‍රියාවලිය ඔවුන්ට ගැටළු විසඳීමේ කුසලතා ඉගෙන ගැනීමට උපකාරී වන අතර ස්වාධීනව තීරණ ගැනීමට ද උපකාරී වේ.

 

දරුවන්ට වැදගත් මිනිසුන් ලෙස සැලකීම වැදගත් ඇයි?

දරුවන්ගේ හැසිරීම ආදර්ශවත් කරන්නේ දෙමාපියන් පමණක් නොවෙයි. සියළුම වැඩිහිටියන්ගේ හැසිරීම දරුවන්ගේ හැසීරීමට යම් ආකාරයකින් බලපායි. ඔබ දිනපතා ජීවිතයේදී දරුවන් සමඟ කටයුතු කරන්නේ කෙසේද? සාප්පුවකට ගිය විට, දරුවෙකු දුටු විට අහක බලනවද? නැත්නම් 'හලෝ' කියමින් දරුවා සමඟ වචනයින් හෝ යම් අංග චලනයකින් හෝ සන්නිවේදනය කරන්නේද?

වැඩිහිටියන් ප්‍රතිචාර දක්වන ආකාරය අනුව දරුවන්ට ඔවුන්ගේ හැඟීම් සහ අවශ්‍යතා දෙමාපියන්ට දැනෙනවාද ඇසෙනවාද යන්න සන්නිවේදනය වේ. එය පසුව ඔවුන් සාමාන්‍ය යැයි සිතන දකින දෘෂ්ටිකෝණයට ද බලපායි. දරුවන් වැදගත් මිනිසුන් ලෙස සලකමින් ඒ අනුව ඔවුන් සමඟ අන්තර් ක්‍රියා කිරීම මඟින් ගෞරවය, සංවේදනය, දයාව කරුණාව සහ ජීවත් වීමට අවශ්‍ය අනෙකුත් බොහෝ ගුණාංග වර්ධනය කරයි. වැඩිහිටියන්ගේ සෑම ක්‍රියාවක්ම, වැඩිහිටියෙකු වන්නේ කෙසේද යන්න මෙන්ම පුද්ගලයින් සහ ලෝකය සමඟ ගනුදෙනු කරන්නේ කෙසේද යන්න පිළිබඳ දරුවන්ට පාඩමක් බව මතක තබා ගන්න.

 

වැඩිහිටියන් ද ජීවිතය හා අරගල කරන බව දරුවන්ට පෙන්වන්න.

දෙමාපියන් ලෙස අප ජීවත් වන ලෝකය අවිනිශ්චිතතාවයෙන් පිරී ඇත. දරුවන් සමඟ අවංක වෙමින් වැඩිහිටියන් ද ජීවිතය සමඟ අරගල කරන බවත්, කලකිරීමට පත්වන බවත්, සෑම විටම පිළිතුරු නොමැති බවත්, දරුවන්ට පෙන්වීම වැදගත්ය. ඔබට පිළිතුරක් නොමැති විට පවා, උගත් ප්‍රායෝගික අනුමාන මඟින් දේවල් සිතා බලා කිරීමට උත්සාහ කළ හැකි බව ඔවුන්ට පෙන්වන්න. මෙය දරුවන්ට විවේචනාත්මක චින්තනය සහ ගැටළු විසඳීමේ කුසලතා ගොඩනැගීමට උපකාර වන තවත් ක්‍රමයකි.

 

නිවස සහ වෘත්තිය වැඩ අතර සීමාවන් පෙන්වා දෙන්න

රැකියාව සහ නිවසේ වගකීම් අතර සීමාවන් පැණවීම දුෂ්කර කාර්යයක් ලෙස හැඟෙන අවස්ථා ඇත. රැකියාව සහ පවුල ජීවිතයේ අංග දෙකක් බව අවබෝධ කරගනිමින් ඔබේ අවධානය අදාළ පරිදි යොමු කිරීම වැදගත්. නිවසේදී ඔබේ පරිගණකය ක්‍රියා විරහිත කරන්න. දුරකථනය නිහඬ කරන්න. ඊමේල්/අනෙක් නිවේදන නොසලකා හරිමින් ඔබේ පවුලේ අය සමඟ කාලය ගත කරන්න.මෙය ඔබට ඔබේ මානසික යහපැවැත්ම පවත්වා ගැනීමට උපකාර කරනවා පමණක් නොව, රැකියාව ජීවිතයම නොවිය යුතු බවටත් සීමාවන් පනවා ගත යුතු බවටත් පණිවිඩයක් දරුවන්ට යවනු ඇත.

 

වගකීම සහ වගවීම

අසමත් වීම දරුවන් ඉගෙන ගත යුතු ලොකුම පාඩමකි. ඔවුන්ගේ වැරදි පිළිගැනීම සහ ඉන් වර්ධනය වීම මෙන්ම ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා වගවීම ද මීට ඇතුළත් වේ. වගවීම දරුවෙකුගේ වර්ධනය කළ යුතු අත්‍යවශ්‍ය නායකත්ව කුසලතාවයකි. දරුවන්ට එම නායකත්ව කුසලතා තම දෙමාපියන්ගෙන් ඉගෙන ගත හැකිය. වගවීම යනු තමන්ගේ ක්‍රියාවන්ගේ ප්‍රතිඵල සඳහා වගකීම බාර ගැනීමයි. සංවේදනය සහ කරුණාව වගවීමේ හදවතයි.  තවත් කෙනෙකුට දැනෙන්නේ හැඟෙන්නේ කෙසේද? ඔබේ ක්‍රියාවන් සහ හැසිරීම් එයට බලපාන්නේ කෙසේද? යනාදියයි.

 

දෙමාපියන්ගේ යම් හැසිරීම් ඔවුන්ට සෘණාත්මක හැඟීමක් ඇති කරන බව දරුවන් දැනටමත් දනී. නමුත් ඔවුන්ගේ හැසිරීම අන් අයටද ඒ ආකාරයෙන්ම හැඟෙන දැනෙන බව අවබෝධ කරගැනීමට ඔවුන්ට මග පෙන්වීම අවශ්‍ය වේ. දෙමව්පියන් තම දරුවාගේ හැඟීම් සහ චිත්තවේගයන් පිළි නොගනිමින් කටයුතු කළ විට, තම ක්‍රියාවන් අන් අයට බලපාන ආකාරය පිළිබඳව නොසලකමින් තම ක්‍රියාවන්ට වගවීම බාර නොගන්නා දරුවන් නිර්මාණය වේ. වගකිවයුතු දරුවන් නිර්මාණය කිරීම සඳහා වඩාත් ඵලදායි පියවරක් වන්නේ තම ක්‍රියාවන් සඳහා වගකිව යුතු ආකාරය දෙමාපියන් ලෙස දරුවන්ට ආදර්ශවත් ලෙස ක්‍රියාවෙන් පෙන්නුම් කිරීමයි.