Parenthrive - Nurturing families, strengthening communities නව යොවුන් දරුවන්ට " අම්මා කරදරයක්" වීම
image

ඔබට සිටින්නේ නව යොවුන් වියේ පසුවන දරුවෙකු නම්  ඇතැම් විට ඔබට මෙම අත්දැකීමට මුහුණදීමට දැනටමත් ලැබී ඇති.දරුවෙකු තරුණ වියට පත්වද්දී බොහෝ විට දෙමව්පියන් සහ දරුවන් අතර ඝට්ටනයක් ඇතිවීම සාමාන්‍යයි. වයස අවුරුදු දාසයෙන් පසුව සාමාන්‍යයෙන් දරුවන් ස්වාධීන වීමට පටන් ගන්නවා. එතැනදී ඔබේ මැදිහත්වීම දරුවාට වැටහෙන්නෙ කරදරයක් ලෙසින්.බොහෝ අවස්ථාවල වැඩිහිටියන් මෙන්ම දරුවාත් මෙම සිද්ධි නිසා මානසික පීඩනයට පත්වෙනවා.

 

"කොයි වෙලෙත් කාමරේමයි" , " කිසිම දෙයක් කතා කරන්න අපිත් එක්ක එන්නේ නෑ " , "පොඩි දෙයක් වුනත් අපිත් එක්ක තරහ වෙනවා" 

 

මෙවැනි පැමිණිලි සිය දහස් ගණනක් නව යොවුන් වියේ පසුවන දරුවෙකු සිටින දෙමව්පියන්ට ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඔහු හෝ ඇය ස්වාධීන වීමට කටයුතු කිරීම බොහෝ අවස්ථාවල දෙමව්පියන්ට වගේම දරුවටත් තේරුම් ගත නොහැකි වන නිසා මෙම ගැටුම් ඇතිවීමට මුල පුරනවා. මෙතනදි දෙගොල්ලන්ම නිවැරදි වන්නේ නෑ.මන්ද මෙම ලෝකයේ තවමත් අපි නොදන්නා ඉසව්, කරුණු මහ හුඟක් තිබෙනවා.

 

බොහෝ අවස්ථාවල තරුණ වයසේ සිටින අම්මෙක් නම්, ඇයට ඇයගේ දරුවා ප්‍රසූත කළ පසුත් තම මවගේ උපදෙස් හා මඟ පෙන්වීම මෙන්ම සියල්ලටම වඩා සහය අත්‍යාවශ්‍ය වෙනවා. සත්ව ලෝකයේ නම් ඉතා කෙටි කලකින් මව සහ දරුවා කියන බන්ධනය වෙන් වන්නට පටන් ගත්තත් , මනුෂ්‍ය ලෝකයේ අපි වියපත් වන තුරුම තමන්ගේ දෙමව්පියන් මත ඇතැම් අවස්ථා තීරණය කිරීමට හුරු වෙලා ඉන්නවා. තමන්ගේ ජීවිතයේ බොහෝ වැරදි තීරණවලින් පසු පසුතැවෙන අවස්ථාවලදී දරුවකු මුලින්ම පැමිණිලි කරන්නේ, එහෙමත් නැතිනම් සිතන්නේ "අම්මයි තාත්තයි මට ඒ වෙලාවේ හරි දේ කළා නම් මෙහෙම වෙන්නේ නෑනේ " , "අපරාදෙ අම්මයි තාත්තයි කියපු දේ ඇහුවනම් ඉවරයි" ආදී සිතුවිලියි.

 

 ඔවුන්ගේ දෙමව්පියන්ට ජීවිතය පිළිබඳ හා සමාජය පිළිබඳව තිබෙන අත්දැකීම් ඉතාමත් වැඩියි. එම නිසා දරුවන් පවා වටහා ගැනීමට අත්‍යවශ්‍ය වෙනවා තමන් නොදන්නා කොටසක් මේ සමාජය තුළ තිබෙන බව. එහි අනෙක් පසින් දෙමව්පියන් පවා වටහාගැනීමට අවශ්‍ය වෙනවා දරුවන් යනු තමන්ගේ නිර්මාණයක් වුවත්   තමන්ට අයිති නිර්මාණයක් නොවන බවට. "දරුවා " අයිති සමාජයටයි. එහිදී ඔබේ වගකීම දරුවාට මග පෙන්වීමයි. මඟ පෙන්වීම කියන්නේ ඔබ නිර්මාණය කළ ලෝකය ඇතුලේ දරුවාව සිරකර තබාගත යුතු බව නොවේ.

 

ජීවත් වන්නට අලුත් අර්ථයක් දරුවාට ලබා දෙන්න. ඔබේ සීමාවන් තුළ එසේත් නැතිනම් ඔබ නිර්මාණය කළ අර්ථ තුළ දරුවා ජීවත්වීම අවශ්‍ය වන්නේ නෑ.ඔබේ රාමුවෙන් එළියට ගිහින් සමාජයත් එක්ක ගැටෙන අවස්ථාවන්වලදී හැකි සෑම විටම දරුවාට ශක්තියක් වෙන්න.දරුවාගේ සෑම ක්‍රියාවක්ම ප්‍රශ්නගත කරන්නට යන්න එපා.

 

දරුවෙකු තමන්ගේ ජීවිතය පිළිබඳව ගන්නා පළමු තනි තීරණය වන්නේ බොහෝ විට " ආදර සම්බන්ධතාවයක්" වන්නට පුළුවන්. එහිදී අනෙක් පාර්ශවයෙන් තම කැමැත්ත විමසීම හරහා නව යොවුන් වියේ දරුවාට ලැබෙන ආත්ම ශක්තිය වගේම ප්‍රතික්ෂේප වීමකදී එය දරා ගැනීම පවා එහිදී දරුවා ඉගෙන ගන්නවා.

 

ඇතැම් අවස්ථාවක යොවුන් වියේ දරුවෙකු තුළ තිබෙන ඔහුටම ආවේණික ගැටලු වලින් හෙම්බත්ව නිවසට ආ විගසම " කොහෙද මෙච්චර වෙලා ගියේ? කාත් එක්කද හිටියේ? මොකද කළේ?" වගේ වචනවලින් දරුවාට පීඩනයක් එල්ල කරන්නට යන්න එපා.  එම අවස්ථාවට මුහුණ දී පැමිණෙන දරුවාට

 

එය මහත් වදයක් ලෙස පෙනීම සාමාන්‍යයි. එම නිසා දෙමව්පියන් වශයෙන් ඔබගේ සීමාව තුළ සිටිමින් දරුවාගේ සමාජානුයෝජනය ඉහළ නංවා ගැනීමට උපකාරි වෙන්න. පවතින අවස්ථාවන් වටහා ගනිමින් කටයුතු කරන්න.