Parenthrive - Nurturing families, strengthening communities දන්ත සෞඛ්‍ය වැදගත් වන්නේ ඇයි?
image

දන්ත සෞඛ්‍යය ශ්‍රී ලංකාවේ දෙමාපියන් සහ දරුවන් යන දෙපාර්ශවයේම සමස්ත යහපැවැත්මේ වැදගත් අංගයකි. නිවැරදි මුඛ සනීපාරක්ෂාව පිළිබඳ පුරුදු කල්තියා ඇති කර ගැනීමෙන් බොහෝ දන්ත ගැටළු වළක්වා ගත හැකි අතර දරුවන්ගේ පමණක් නොව දෙමාපියන්ගේ ද දිගුකාලීන සෞඛ්‍යයට දායක වේ. දන්ත වෛද්‍ය විශේෂඥයන් දන්ත රැකවරණය සඳහා නිතිපතා දත් පරීක්ෂා කිරීම්, නිසිපරිදි නිවැරදි ආකාරයට දත්මැදීම සහ ෆ්ලොසින් කිරීම (flossing) සහ සමබර ආහාර වේලක් ගැනීම යනාදිය ඇතුළත් බහුවිධ ප්‍රවේශයක් නිර්දේශ කරයි.

 

ළදරු අවධියේ ලබා දිය යුතු දන්ත ප්‍රතිකාර

ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) උපදෙස් දෙන්නේ දරුවෙකුගේ පළමු දන්ත වෛද්‍ය චාරිකාව ඔවුන්ගේ පළමු දත මතුවී මාස හයක් ඇතුළත සිදු විය යුතු බවත් එය ඔවුන්ගේ පළමු උපන්දිනයට පසුව නොවිය යුතු බවයි. මෙම මුල් දන්ත වෛද්‍ය චාරිකා මගින් ඇති විය හැකි දන්ත ගැටළු කල්තියා හඳුනා ගැනීමටත්, දන්ත සායනයෙහි පරිසරය දරුවන්ට හුරු කිරීමටත්, අනාගත දන්ත පරීක්ෂාවන්ට දරුවා රැගෙන ඒමේදී ඇතිවන මුරණ්ඩුවීම්, හැඬිම් ආදිය අවම කර ගැනීමටත් උපකාරී වේ. ශ්‍රී ලංකාව තුළ ඇති, ප්‍රජා දන්ත සායන සහ පුද්ගලික දන්ත වෛද්‍ය සායනයන් වෙත දෙමාපිය භාරකරුවන් හට පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතර, ඉක්මන් සහ ක්‍රමවත් දන්ත සත්කාර සඳහා අවස්ථා ලබා දෙයි.

 

දෛනික මුඛ සනීපාරක්ෂක පිළිවෙත්

ළමා දන්ත වෛද්‍යවරු ෆ්ලෝරයිඩ් දන්තාලේපයකින් දිනකට දෙවරක් දත්මැදීමේ වැදගත්කම අවධාරණය කරයි. තම දරුවන් නිවැරදිව දත් මැදීම සිදු කරන බව සහතික කර ගැනීම සඳහා දරුවන් වයස අවුරුදු අටක් පමණ වන තුරු දෙමාපියන් විසින් ඔවුන්ගේ දත් මැදීම අධීක්ෂණය කළ යුතු බව දන්ත වෛද්‍යවරු අවධාරණය කරයි. මෘදු කෙඳි සහිත දත් බුරුසුවක් සහ ෆ්ලෝරයිඩ් දන්තාලේපන කඩල ඇටයක ප්‍රමාණයක් භාවිතා කරමින්, දරුවන් දත්වල සියලුම මතුපිටයන්ට අවධානය යොමු කරමින් අවම වශයෙන් මිනිත්තු දෙකක්වත් දරුවාගේ දත් මද්දවන්න.

 

ෆ්ලොසින් කිරීම/Flossing ද ඉතා වැදගත් වේ. දරුවන්ට එකිනෙක ගැටෙන දත් ​​දෙකක් ආ විගසම flossing හඳුන්වා දෙන ලෙස SLDA නිර්දේශ කරයි. දත් බුරුසුවකට ළඟා විය නොහැකි මුඛයේ ප්‍රදේශවල දත් අතර සහ විදුරුමස් යට ඇති ආහාර අංශු සහ මැලියම් ඉවත් කිරීමට ෆ්ලොසින් උපකාරී වේ.

 

දන්ත සෞඛ්‍යය සඳහා සමබර ආහාර වේලක්

දන්ත සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා සමබර ආහාර වේලක් ද අත්‍යවශ්‍ය වේ. අධික සීනි සහ පිෂ්ඨය අඩංගු ආහාර දත් දිරායාමට හේතු විය හැක. දන්ත සෞඛ්‍ය පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සීනි සහිත ආහාර නිතර ආහාරයට ගැනීමෙන් කුහර ඇතිවීමේ අවදානම වැඩි වන බවයි. සීනි සහිත කෙටි ආහාර සහ බීම සීමා කරන අතරම පලතුරු, එළවළු සහ සම්පූර්ණ ධාන්‍ය වලින් පොහොසත් ආහාර වේලක් දෙමාපියන් දිරිමත් කළ යුතු බව ඔවුන් අවධාරණය කරයි.

 

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආහාර වේලෙහි බොහෝ විට දන්ත සෞඛ්‍යයට හිතකර සහල්, එළවළු සහ මාළු ඇතුළත් වේ. කෙසේ වෙතත්, වර්තමානයේ දී සීනි සහිත කෙටි ආහාර සහ බීම වර්ග වැඩි වීම දන්ත සෞඛ්‍ය ආරක්ෂා කිරීමේදී අභියෝගයක් වන අතර, ආහාර පිළිබඳව වඩාත් සුපරීක්ෂාකාරී වීම ඉතා වැදගත් වේ.

 

නිතිපතා දන්ත පරීක්ෂාවන් සිදු කිරීම

මුඛ සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා නිතිපතා දන්ත පරීක්ෂාවන් සිදු කිරීම ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරන්නේ දන්ත වෛද්‍යවරයකු ලවා නිරන්තරයෙන් දත් පරීක්‍ෂා කර ගන්නා දරුවන්ට දන්ත රෝග ඉක්මනින් හඳුනාගෙන, නිවාරණ කර ගැනීම සඳහා ප්‍රතිකාර ලැබීමේ වැඩි සම්භාවිතාවක් පවතින අතරම ඔවුන්ගේ දත්වල කුහර සෑදීමට ඇති ඉඩකඩ අඩු බවයි. ඕනෑම දන්ත ගැටලුවක් ඉක්මනින් හඳුනාගෙන නිවැරදි ලෙස ප්‍රතිකාර ලබා ගැනීම සහතික කිරීම සඳහා SLDA විසින් සෑම මාස හයකට වරක් දන්ත වෛද්‍ය උපදෙස් පැතීම සියළුම දෙමාපියන්ට නිර්දේශ කරයි.

 

ශ්‍රී ලංකාවේ දන්ත සෞඛ්‍යය පිළිබඳ තහවුරු කරන ලද දත්ත

 

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන්නේ දත් දිරායාම (දන්ත කුහර) ළමුන් අතර ඇති සැලකිය යුතු සෞඛ්‍ය ගැටලුවක් බවයි. 2018 සමීක්ෂණයකින් හෙළි වූයේ වයස අවුරුදු 5 සිට 12 දක්වා ළමුන්ගෙන් දළ වශයෙන් 50% කට පමණ ප්‍රතිකාර නොකළ දන්ත ක්ෂයවීම් ඇති බවයි. කෙසේ වෙතත්, ඒවා වැළැක්වීමේ දන්ත සත්කාර සඳහා ප්‍රවේශය සහ අවශ්‍ය පහසුකම් ඇති දරුවන්ගේ කුහර ඇතිවීමේ සම්භාවිතාව සැලකිය යුතු ලෙස අඩුය.

 

ෆ්ලෝරයිඩ් සහිත ජලය, දත් දිරායාම අවම කිරීම තහවුරු කරන ලද තවත් පියවරකි. ශ්‍රී ලංකාවේ සමහර නාගරික ප්‍රදේශවලට ෆ්ලෝරයිඩ් සහිත ජලය ලබා ගත හැකි අතර, එමගින් කුහර ඇතිවීම අවම වන බව පෙන්වා දී ඇත. අධ්‍යයනවලින් පෙනී යන්නේ ෆ්ලෝරයිඩ් රහිත කලාපවල දරුවන්ට සාපේක්ෂව මෙම ප්‍රදේශවල ළමුන්ගේ දත් දිරායාමේ ව්‍යාප්තිය අඩු බවයි.

 

ප්‍රශස්ත දන්ත සෞඛ්‍යයක් සඳහා, දෙමාපියන් විසින් කුඩා කල සිටම තම දරුවන්ට හොඳ මුඛ සෞඛ්‍ය පුරුදු ඇති කිරීම අත්‍යවශ්‍ය වේ. නිතිපතා දත්මැදීම සහ floss/ෆ්ලොසින් කිරීම, සමබර ආහාර වේලක් ගැනීම, සහ නිතිපතා දන්ත පරීක්ෂාවන් සිදු කිරීම ඵලදායී දන්ත රැකවරණයේ ප්‍රධාන අංග වේ. විශේෂඥ දන්ත වෛද්‍ය නිර්දේශ අනුගමනය කිරීමෙන් සහ තහවුරු කරන ලද වැළැක්වීමේ පියවරයන් භාවිතා කිරීමෙන්, දෙමාපියන්ට තම දරුවන්ට නිරෝගී දත් සහ විදුරුමස් පවත්වා ගැනීමට උපකාර කළ හැකි අතර,  මෙය ජීවිත කාලය පුරාම යහපත් මුඛ සෞඛ්‍යයක් සඳහා ඔවුනට අඩිතාලම දමයි. දන්ත සෞඛ්‍ය පිළිබඳ දැනුවත්භාවය වැඩි වීම සහ දන්ත සෞඛ්‍ය සේවා සඳහා ඇති පහසු ප්‍රවේශය නිසාත්, දෙමාපියන්ට දරුවන්ගේ දන්ත සෞඛ්‍ය වැඩිදියුණු කිරීමේ දී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගත හැකිය.