Parenthrive - Nurturing families, strengthening communities ඩිමෙන්ෂියාව හඳුනා ගමු
image

අමතක වීම අපි සෑම දෙනාමට මුහුණ දෙන්නා වූ පොදු ගැටලුවකි. වයසට යැමත් සමඟ උග්‍ර වන්නා මෙන්ම පෙන්නුම් කරන්නා වූ රෝගී තත්වයකි ඩිමෙන්ෂියාව. මතකය දුර්වල වීම, නිතර නිතර සාමාන්‍ය තොරතුරු, අතීත තොරතුරු අමතක වීම මෙහි ලක්ෂණයි.

 

කාලයත් සමඟ අපගේ මෙන්ම අපගේ දෙමාපියන්ගේ මතක ශක්තිය පරිහානියට ලක් වේ. මොළයේ ස්නායු සෛල වයසත් සමඟ ක්‍රමයෙන් හානියට ලක් වේ. මෙනිසා තම දිවියේ විවිධ තොරතුරු අමතක වීමට පටන් ගනී. ප්‍රබල මානසික රෝගී තත්වයක් වන ඩිමෙන්ෂියා තත්වයෙන් පසු වන්නා වූ වැඩිහිටියන් තම අවශ්‍යතා පිලිබඳ ප්‍රකාශ කිරීමේ දී ද විවිධ අභියෝගවලට මුහුණ දෙයි. මෙම රෝගී තත්වයෙන් පසු වන වැඩිහිටියකු රැක බලා ගැනීමේ දී රෝගී තත්වය අවබෝධ කර ගැනීම සහ ඔබේ සහය ලබා දිය හැකි ආකාරය පිලිබඳ දැන සිටීම ඉතා වැදගත්ය.

 

හඳුනා ගත හැකි ආකාරයන් කිහිපයක්

  • මුදල් පසුබිම අමතක වීම ආදී රැගෙන යා යුතු සහ නිතර රැගෙන යන බඩු භාණ්ඩ අමතක වීම
  • යම් භාණ්ඩ පෙර තැබූ ස්ථාන වල තැබීමට අමතක වීම හා පෙර නොතැබූ ස්ථානවල තැබීම
  • තම දුරකථන අංකය, හැඳුනුම්පත් අංකය, වාහනය ආදිය අමතක වීම
  • ආහාර ගැනීමට අමතක වීම හෝ නොගැනීම
  • ආහාරවලට නැවතත් ලුණු දැමීම හෝ ලුණු නොදැමීම
  • පාර අමතක වී අතරමං වීම, ඉන්නා තැන පිලිබඳ අවබෝධයක් නොමැති වීම
  • එකම ප්‍රශ්නය නැවත නැවතත් ඇසීම
  • පවුලේ අය හඳුනා ගැනීමට අපහසු වීම
  • අපැහැදිලි කතාබහ සහ විස්තර

 

ඩිමෙන්ෂියාව සඳහා ඇල්සයිමර් රෝගය ද (Alzheimer’s disease) ප්‍රධාන හේතුවක් වේ. 50% කට අධික ඩිමෙන්ෂියා රෝගීන් ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන බව ඔබ දන්නවාද? අවු 65ට වැඩි ඔ්නෑම අයෙකුට මෙම රෝගය සැදීමේ අවධානමක් ඇතත් සියලුම වයස්ගත වැඩිහිටියන් හට මෙම රෝගය සෑදෙන්නේ නැති අතර මුල් අවදියේදීම හඳුනා ගැනීම මඟින් හානිය අවම කර ගත හැකිය. කාලයත් සමඟ රෝග ලක්ෂණ උත්සන්න වේ.(තම දරුවන් අඳුනා ගැනීමට නොහැකි වීම, ශාරීරිකව සහ මානසිකව අක්‍රිය වීම, පාලනයකින් තොරව මළමුත්‍රා පිටවීම ආදිය)

 

මේ සඳහා නිසැකවම සුව කළ හැකි ප්‍රතිකාරයක් තවමත් සොයා ගෙන නැත. රෝගය උත්සන්න වීම වළක්වා ගැනීම සඳහා ඖෂධ ලබා ගත හැකිය.

 

රැකබලා ගන්නෙකු සඳහා උපදෙස්

ඩිමෙන්ෂියා රෝගියෙකු තනිව බලා ගැනීම අපහසු බැවින් අවශ්‍ය සහාය ලබා ගන්න. ඩිමෙන්ෂියාවෙන් පෙළෙන වැඩිහිටියෙකු සමඟ කටයුතු කිරීම අපහසු බැවින් මෙම රෝගී තත්වය මනාව අවබෝධ කර ගනිමින් ඔවුන් හා සන්සුන්ව සංවේදීව කටයුතු කරන්න. පවුලේ අය සමඟ වගකීම් බෙදා ගන්න. දරුවන් දැනුවත් කරමින් නිවස තුළ රෝගියාට අවශ්‍ය පරිසරය සකසන්න. අනතුරු වළක්වා ගැනීම සඳහා රෝගියාට නිතර අවධානය ලබා දෙන්න.