Parenthrive - Nurturing families, strengthening communities ඔබේ නිවසේ සන්නිවේදනය කෙසේද?
image

ඔබේ පවුලේ අනෙකුත් සාමාජිකයන්ට මෙන්ම දරුවන්ටද තියෙන්නේ නීතිමය වශයෙනුත් සාමාජිකත්වය වශයෙනුත් සම තැනක් බව ඔබ දන්නවාද?

 

ඔබට හිමි විය යුතු සියල්ල ම ඔබේ දරුවාටත් සමානව හිමිවිය යුතු බවයි ඉන් අදහස් කෙරෙන්නේ.

නිවස තුල සාමය, අන්‍යෝන්‍ය අවබෝධය වගේම සහයෝගයත් වර්ධනය කරන්න මේ කියන සජීවී සන්නිවේදනය ඉතාමත් ඉහළින් අවශ්‍ය වෙනවා.බාධාවකින් තොරව එකිනෙකා අතර තමන්ගේ අදහස් හුවමාරු කරන්න මේ හරහා පුලුවන්.

 

නමුත් ඔබට මගහැරෙන තැනක් එහි තිබෙන බව ඔබ විශ්වාස කරනවද?

 

දරුවන් කියන්නේ ඔබ තරම්ම සක්‍රීයව සහ පැහැදිලිව, නිරවුල්ව අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙන පිරිසක් නොවෙයි.එම නිසා ඔවුන්ට යමක් පැවසීමට අවශ්‍ය වුණත් ඒ සරල  අදහස ඇතැම් විට පිටතට පැමිණෙන්නේ ඉතාම සංකීර්ණ ආකාරයකට වෙන්න පුළුවන්.

 

ඔබ විසින් දිනෙක ' නැහැදිච්චකම', 'අකීකරුකම',පණ්ඩිතකම' යැයි පවසා දරුවාව පසෙකට දැමූ අවස්ථාවක් ඔබට මතකද?

 

කිසිම විටෙක ඔබ හා සමාන මට්ටමින් දරුවා ගැන සිතන්න එපා.ඔබේ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව මත දරුවා තමන්ගේ අදහස් නොබියව පළ කිරීමේ සතුට වගේම අවංකව පළ කිරීමේ සතුටත් ලබා ගන්නවා. සෑම විටකම නිදහසේ තමන්ගේ අදහස ප්‍රකාශ කිරීමට දරුවා පෙළඹීම ඔහුගේ මානසික තත්ත්වය හෙළ දැමීමට උපකාරී වෙනවා.ඔබ සමඟ නැතිව දරුවා කා සමග එසේ අදහස් ප්‍රකාශ කරන්න ද? එම නිසා කිසිවිටෙකත් ඍණාත්මක ප්‍රතිචාර වලින් දරුවාව පුරවන්න එපා.

 

දරුවන් සෑම විටම උත්සාහ කරන්නේ වැඩිහිටියන්ගේ ආදරය දිනාගන්න.කුඩාකල කේලම් කීම සිදුකරන්නෙත් වැඩිහිටියන්ගෙන් අවශ්‍ය අවධානය තමා වෙත ලබා ගන්න බව ඔබ දන්නවාද? එම නිසා එවැනි අවස්ථාවලට සහ එම පැමිණිලි පිළිබඳව ඔබේ බුද්ධියෙන් සිතා කටයුතු කරන්න.බොහෝ විට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම ඔබ ප්‍රතික්ෂේප කිරීමකදී දරුවා කෝපයට පත් වීමක් සිදු වෙන්න පුළුවන් බවට ඔබට අත්දැකීම් ඇති.ඇතැම් අවස්ථාවල දෙමව්පියන්ටත් මෙම අදහස් ප්‍රකාශ කිරීම් වටහා ගැනීමට අපහසු තාවයක් ඇති වෙන්නට පුළුවන් නමුත් එය ඉතාමත් සාමාන්‍යයයි.එවැනි අවස්ථාවන්හීදී සම්පූර්ණයෙන්ම ඔබ ඔබේ බුද්ධි මට්ටම සහ දරුවාගේ බුද්ධි මට්ටම පිළිබඳව සිතන්න.

 

දරුවාගේ සන්නිවේදනය අඩාලවීමේ ආකාරයෙන් ඍණාත්මක,නිග්‍රහශීලී සහ අපහාසාත්මක ප්‍රතිචාර දැක්වීමේදී තමා ගැන අවතක්සේරුවකට පත්වීමට දරුවා ඉඩ තිබෙනවා.එම නිසා සෑම විටෙක ම දරුවා හා සන්නිවේදනය ධනාත්මක ලෙස සිදු කිරීමට ඔබ වගබලා ගත යුතුයි.

 

' පණ්ඩිත කතා කියන්න එපා.. ඔයා තාම ළමයෙක් .. වැඩිහිටියෝ ගැන ඔයා මොනාද දන්නේ?' මෙවන් ප්‍රතිචාර දැක්වීමක දී දරුවාගේ මුහුණෙහි ඇති වන හැඟීම් වල වෙනස ඔබ දැක තිබෙනවාද? සමහර විටෙක දරුවා එතනින් පිටව යන්නේ තමන්ගේ ආත්මාභිමානයට  ඇතිවන දරුණු තුවාල කැලලක වේදනාවත් සමඟයි. එම නිසා දරුවා සන්සුන් වූ පසු ඉතාමත් කාරුණිකව සහ ආදරණීයව ඔහුට/ ඇයට කරුණු පැහැදිලි කරන්න. විසදුමකට එහා ගිය විකල්ප විසඳුම් ගණනාවක් ඇති බව දරුවාට වටහා දීමට උත්සාහ කරන්න.

 

දරුවන් කියන්නේ ජීවිත අත්දැකීම් අඩු සහ දැනුම අඩු නමුත් ඉතාමත් වේගයෙන් ඉගෙන ගන්න පිරිසක් එම නිසා ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ දී සීමාව ඉක්මවා යාමක් හෝ ආචාරධර්ම බිදී යාමක් සිදු වන්නට ඉඩ තිබෙනවා.අනෙක් අතට දරුවාගේ ප්‍රකාශන ශක්තිය පවා ඔබට වඩා බොහොම අඩු මට්ටමකින් තිබෙන්නේ. ඔවුන්ගේ වාග් මාලාව පවා ඔබ තරම්ම දියුණු වී නෑ.එම නිසා ඉතාමත් සරල අදහස් පවා බැරෑරුම් ලෙසයි දරුවන්ගෙන් පිටවන්නේ.

 

වැඩිහිටියෝ වශයෙන් මෙම සන්නිවේදනයට බාධා පමුණුවන්නට ඔබට අයිතියක් නැහැ.කිසිවිටෙකත් දරුවාව අගෞරවයට පත් කරන්නට එපා. වැඩිහිටියන්ගේ ගෞරවයට පාත්‍ර වීමෙන් තෘප්තිමත් වන,අන් අයගේ මතයට ගරු කිරීමේ කුසලතා කුසලතාවය වර්ධනය කරගැනීමට දරුවන්ට ඉඩ දෙන්න.ඔවුන්ගේ අදහස් වලට ඔබ වචන වන්න.