Parenthrive - Nurturing families, strengthening communities ඔබේ දරුවත් "හොඳ දරුවෙක්ද" ??
image

"හොද දරුවෙක්" විදියට ඔබ නිර්වචනය කරන්නේ කුමක්ද ? වැඩිහිටියන් කියන හැමදේම සාවධානව අසාගෙන ඉඳලා ඒ අනුව විතරක් කටයුතු කරන බබෙක්ද?  පවුලකින් පවුලකට වෙනස් වෙන මෙම නිර්වචනය ඇත්ත වශයෙන්ම ඔබ නිවැරදිවම හඳුනාගෙන තිබෙනවාද?

 

ඉහත ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ඔබට මෙම සටහන කියවීමෙන් පසු අවබෝධ වේවි.

 

දරුවෙක් කියන්නේ "හොඳ" සහ "නරක" කියන වචන දෙකේ වෙනස හඳුනන කෙනෙක් නෙවෙයි.ඒ වචන දෙක අතර තියෙන වෙනස හොඳින් හඳුනන්නේ ඔබ සහ දරුවාගේ ගුරුවරුන්.මේ "හොඳ" කියන වචනය එකිනෙකාට සාපේක්ෂයි. ඇතැම් අවස්ථාවක ඔබ "හොඳ" යැයි සලකන යම් ක්‍රියාවක් තවත් අයකුට සාපේක්ෂව "නරක" යැයි හඳුනා ගැනීමට ඉඩ තිබෙනවා. එම නිසා හොඳ යැයි සම්මත දේ "මෙය විය යුතු යැයි" නිවැරදිවම ගණන් බලා සීමාවකින් වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

 

පවතින අවස්ථාවට ,තැනට ,කාලයට වගේම දරුවාගේ වයසටත් මේ "හොඳ" කියන සංකල්පය සාපේක්ෂයි.මේ සංකල්පය ඇතුලේ නීති රීති සම්මත සම්ප්‍රදායන් කිසිවක් පවතින්නට ඉඩ නෑ.දරුවෙකු ඉපදුණු දවසේ පටන් වැඩිවියට පත්ව නිවසෙන් පිටව යන දවස වනතුරු මෙම සංකල්පය තමන්ගේ පවුලට ගැලපෙන විදිහට තමයි බොහෝ දුරකට හැඩ ගැසෙන්නේ.එම නිසා මේ සංකල්පය පිටුපස ඉන්න මූල බීජය වෙන්නේ ඔබ.

 

දරුවෙකු මේ ලෝකයට බිහි වූ දවසේ පටන්ම මෙම කරුණු සම්බන්ධව දරුවාට වටහා දීමට 100%ක වගකීමක් ඔබ සතුව පවතින බව ඔබ දන්නවද?

 

වර්තමාන ලංකාව තුළ ක්‍රියාත්මක වන ක්‍රමවේදයන් අනුව නම් හොඳ සහ බුද්ධිමත් දරුවන් කියන පිරිස සත්‍ය වශයෙන්ම නරක, දඟ දරුවන් විදිහට නම් කරන්නට ඉඩ වැඩියි. කිසිම විටෙක ඔබ දරුවාගේ පසුපස ඉඳන් දරුවාව මෙහෙයවන්නට එපා. ඔහුගේ/ ඇයගේ පරිසරයේ කායිකව,මානසිකව වගේම අධ්‍යාත්මිකව නිවැරදිව සතුටින් ජීවත් වෙන විදිහට දරුවෙකු නිර්මාණය කිරීම තමයි හොඳ දරුවෙකු නිර්මාණය කළා කියලා හඳුන්වන්න පුළුවන් වෙන්නේ. "හොද දරුවෙකු'" යනු සෑම විටකම වැඩිහිටියන් කියන දේ පමණක් අසා කීකරුව සිටින දරුවෙකු නොවේ.

 

අවස්ථාවට උචිත ලෙස ක්‍රියාත්මක වීම ,අන්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම,හදිසි අවස්ථාවන්වල තීරණ ගැනීම, ගැටලුකාරී අවස්ථාවන්වලට නියමාකාර ජවයකින් යුතුව මුහුණ දීම සදහා දරුවාව සූදානම් කරවීම ඔස්සෙ ' හොද දරුවෙකු" නිර්මාණය කරන්නට ඔබට පුළුවන්..

 

ඔබ පෙන්වන පුටුවේ ඉඳගෙන, ඔබ පෙන්වන පොත කියවමින් කියවමින්, නිශ්ශබ්දව සිටින දරුවෙකු කිසිවිටකත් හොඳ දරුවෙකු කියලා නිර්වචනය කරන්නට යන්න එපා. තර්ක කිරීම, බිය නැතිව කතා කිරීම, සෙල්ලම් කිරීම වගේම දග වැඩ පවා දරුවෙකු තුළ තිබිය යුතුයි.මේ සියලු තත්ත්ව අතර යහපත් හා නිවැරදි සබඳතාවයක් ගොඩනගා ගනිමින් හැඩ ගැහෙන්නේ කොහොමද කියන එක පිළිබඳව දරුවාට වටහා දෙමින් දරුවාව ඒ අනුව වගකීම් සහගත ලෙස ඇති දැඩි කිරීම ඔබේ වගකීමක්.

 

දැඩි නීති රීති දමමින් දරුවෙකු මෙහෙයවීම හරහා හොඳ දරුවෙකු නිර්මාණය කරගත හැකි බවට ඔබ සිතන්නේ නම්,  සැබැවින්ම එම මතය හුදෙක් මිථ්‍යාවක් පමණයි. දැඩි නීති රීතිවලට යටත්ව සිටින දරුවෙකුට දැනෙන මානසික පීඩන තත්ත්වයන් අනුව කිසිදු විටෙක හොඳ දරුවෙකු නිර්මාණය කිරීමට ඔබ සමත් වෙන්නෙ නෑ.එම නිසා කිසිදු අවස්ථාවක දරුවෙකුගේ මනසට අනවශ්‍ය පීඩනයක් ලබාදෙන්නට එපා. දරුවෙකු  සැබවින්ම දඟ කළ යුතුයි, ක්‍රියාශීලි විය යුතුයි.අවශ්‍ය වන්නේ ඔබගේ නිවැරදි මඟ පෙන්වීම පමණයි.

 

එම නිසා ඔබගේ අවශ්‍යතාවය පරිදි  " හොද දරුවෙකු" සෑදීමට ගොස් ඔහුගේ/ඇයගේ ජීවිතවලට අඳුරු බලපෑමක් එක් කරන්නට කටයුතු කරන්නට එපා. හැකි සෑම විටකම යහපත් හා නිවැරදි දේ කුමක්ද යන්න දරුවාට තේරුම් කරවිය හැක්කේ ඔබට පමණක් බව සිහි තබා ගන්න.