Parenthrive - Nurturing families, strengthening communities ඔබත් පලවෙනි වතාවට බබාව නිවසේ තියලා රැකියාවට යන අම්මෙක්ද?
image

මාතෘ නිවාඩු වලින් පසුව  දීර්ඝ කාලයක් තමන්ගේ පුංචි පැටියත් එක්ක එකට ඉන්න අම්මෙක්ට රැකියාවට යනවා කියන එක හුඟක් ලොකු ප්‍රශ්නයක්..ප්‍රසූත නිවාඩු අවසන් වූ පසුව ඔබ රැකියාවට යාමට පෙර ඔබේ දරුවාව ඊට සූදානම් කළේ මෙහෙමද බලන්න..

 

අම්මෙක්ට වගේම පුංචි දරුවාටත් ඒ සඳහා සූදානම් වෙන්න ටික කාලයක් ගතවනවා.උපතින් පසු මාස හයකටත් වඩා තමන්ගේ අම්මගේ   උණුසුමේ ඉන්න පුංචි පැටියෙක්ට එකපාරටම ඒ උණුසුමින් මිදිලා තනිවෙන්න වුනොත්   බලපාන්නෙ කොහොමද කියල ඔබ දන්නවද?

 

තමන්ගේ අම්මා තමන්ගෙන් ඈත් වෙන එක මේ පුංචි දරුවාට තවමත් තේරුම් ගන්න බැහැ .ඒ නිසා දරුවෝ බලන්නේ දවසම අඩන්න. ඒ වගේම තමයි රැකියාවට ගියා අම්මත් රැකියා ස්ථානයේ ඉන්නෙ හරිම ආතතියෙන්.

 

මේ කාල සීමාව අම්මෙක්ට වගේම පුංචි පැටියෙක් ට තමන්ගෙ මනස ඒ සඳහා සූදානම් කර ගන්න එක හරිම වැදගත් වෙනවා.

 

පුංචි පැටියෙක්ව මේ සදහා මානසිකව සූදානම් කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු.

 

1) ඔබ රැකියාවකට යෑමට අවම වශයෙන් සති දෙකකට පෙර දරුවාව ඒ සඳහා සූදානම් කරන්න.ඔබට පුළුවන් දවසට පැය දෙකක් හෝ තුනක් පමණ දරුවාගෙන් ඈත් වී සිටින්න.දරුවාට මව්කිරි දීලා අවශ්‍ය ආහාර පාන ලබා දුන්නට පස්සේ ඔබට පුළුවන් වෙළෙඳසලට යන්න,පිරිසුදු වාතාශ්‍රය ලබා ගැනීමට ඇවිදීමට යන්න.දරුවා අඩද්දි ඒ විගසම දරුවා ලගට යන්නෙපා.මදක් පමා වී යන්න.

 

2) සමීප ඥාතියෙකුට හෝ දරුවා බලා ගැනීමට පැමිණෙන අයට දරුවාව  හුරුකිරීමට අවම වශයෙන් සති දෙකක්වත් ගන්න. ඔබේ ඇකයෙන් දරුවාව මඳකට ඈත් කොට අදාළ පුද්ගලයාට දරුවාට සමීප කරවන්න.දරුවාගේ ඇසට ඔහුගේ /ඇයගේ රුව හුරු කරවන්න මෙයින් ඔබට පුළුවන්.

 

3) අවට හිතවතුන් ,ඥාතීන් මෙන්ම කුඩා දරුවන් සමග ඔබේ දරුවාව එකතු කරන්න.දරුවාගේ ආරක්ෂාව පිළිබඳ මෙහිදී සැලකිලිමත් වෙන්න.මෙලෙස හුරු කිරීමෙන් ඔබ නැතිව කුඩා සමාජයක් තමා වටා සකසා ගැනීමට දරුවාට හැකියාවක් ලැබෙනවා.එම නිසා ඔබ රැකියාවට යන වහාම දරුවාව දිවා සුරකුම් මධ්‍යස්ථාන වෙත යවන්න එපා.ඊට ප්‍රථම දරුවා වටා කුඩා සමාජයක් තුළ පරිසරය දරුවාට හුරු කරවන්න.

 

4) හැකිතාක් ඔබ මනස නිරවුල් කර ගැනීමට නිවසෙන් පිටතට යන්න.දරුවා සමග රැඳෙන කාලේ කාල සීමාව පැයෙන් පැය හැකිතාක් අවම කරන්න.

 

5) ආහාර සඳහා දරුවාව හුරු කරවන්න.උපතෙන් මුල් මාස හයෙන් පසු දරුවාට මවුකිරිවලට අමතරව වෙනත් ආහාර දීමට සිදුවන නිසා ඔබ නැතිව දරුවාට එම ආහාර ලබා ගැනීමට හුරු කරවන්න.

 

6) මුල් මාස හයෙන් පසු ඔබ රැකියා රැකියා ස්ථානය වෙත යෑමේ දී හැකිනම් රැකියා ස්ථානය හා සාකච්ඡා කොට ක්‍රමයෙන් ඔබගේ වැඩ කරන පැය ගණන දීර්ඝ කර ගන්න.ඒ කියන්නේ මුලින් දවසට පැය හතරක් හෝ පහක් ඔබ රැකියාව කර නිවසට යාමට අවසර ලබා ගන්න. පසුව මෙම වැඩ කරන පැය ගණන වැඩි කරන්න.

 

ඉහත පෙන්වපු කරුණු සියල්ලම ඔබ අද සිටම ක්‍රියාත්මක කිරීමට පටන් ගන්න.දරුවාගෙන් ඈත් ව සිට නැවත දරුවා ළඟට පැමිණි වහාම උණුසුම් හාදුවක් දි දරුවාව තුරුළු කරගන්න.ඈත්වීම තාවකාලික බව ඉන් දරුවාට හඟවන්න. මව රැකියාවට ගියත් නැවතත් ඉක්මනින් දරුවා ළඟට පැමිණෙන බව දරුවා ඉන් වටහා ගන්නවා.කුඩා මනසට මෙම දේවල් හුරු හුරු කිරීමට ඔබට එතරම් අපහසු වන්නේ නැහැ.මොකද කුඩා දරුවන් කියන්නේ හරිම ඉක්මනින් ඉගෙන ගන්න පිරිසක්.

 

එම නිසා ,ඔබත් ප්‍රසූත නිවාඩු අවසන් වී රැකියාවට යාමට සූදානම්ව සිටින්නේ අලුත් අම්මෙක් නම් මේ පියවර 6 අනුගමනය කරන්න පටන් ගන්න.