Parenthrive - Nurturing families, strengthening communities අධි ක්‍රියාශීලී දරුවන් හඳුනා ගන්නේ කොහොමද ?
image

සමාජය තුළ උගතුන්, බුද්ධිමතුන් වගේම දුරාචාරී පුද්ගලයන් පවා බිහි වෙන්න ළමා විය හා සබැඳි අත්දැකීම් බලපාන බව මනෝ විද්‍යානුකූලව සනාථ වෙලා තිබෙන නිසා, තම දරුවන් ගේ අසාමාන්‍ය ගති ලක්‌ෂණ ළමා වියේ දී ම හඳුනාගැනීමටත් ඒ සඳහා සුදුසු පිළියම් යෙදීමටත් මාපියන් නොපමාව වගබලාගත යුතු වෙනවා.

 

දරුවකු කුස තුළ පිළිසිඳගත් දා ඉදන්ම මාපියන් ගේ සියලු සිතුම් පැතුම් දරුවා ගේ අභිවෘද්ධිය හා බැදෙනවා. දරුවා මෙලොව එළිය දුටු දින සිට මාපියන් ක්‍රියා කරන්නේ දරුවා ගේ ක්‍රියාකාරීත්වය පදනම් කොටගෙනයි. ඒ අනුව ඕනෑ ම මාපියකු ගේ එකම බලාපොරොත්තුව වන්නේ තම දරුවා යහපත් පුරවැසියකු ලෙස සමාජගත කිරීමයි. ඒ සඳහා දරුවා ගේ වර්ධනයට සමගාමී ක්‍රියාකාරිත්වය පිළිබඳව මනා අවබෝධයක්‌ මාපියන් සතුව තිබෙන්නට අවශ්‍යයි. බහුතරයක්‌ මාපියෝ තම දරුවා ගේ ක්‍රියාශීලීත්වය පිළිබඳව අන් අය සමග පවසමින් නිහතමානී සතුටක්‌ ලැබීමට පුරුදු වෙලා ඉන්නවා.

 

නිතර දගකාරකම් කිරීම, කියන දේ නො ඇසීම, එපා කියන දේ කිරීම, නව අත්දැකීම් ලැබීමට ඇති කැමැත්ත, අනුකරණය කිරීම, ඕනෑ ම දෙයක්‌ පිළිබඳව ප්‍රශ්න අසා දැනගැනීම, ගැලවුම පිණිස හැඩීම, ආදිය සාමාන්‍ය දරුවකු ගේ ළමා විය හා සම්බන්ධ වන ගති ලක්‌ෂණ ලෙස අර්ථ දක්වන්න පුළුවම්. එහෙත් ඇතැම් දරුවෝ ඉහත සඳහන් ගති ලක්‌ෂණ ඉක්‌මවා ගොස්‌ අධි ක්‍රියාශීලී ගති ලක්‌ෂණ පෙන්නුම් කරනවා. එකී දරුවන් අධි ක්‍රියාශීලී (Hyperactive) දරුවන් ලෙස විද්‍යානුකූලව වර්ග කරනවා.

 

සාමාන්‍ය දරුවකු හා අධි ක්‍රියාශීලී දරුවකු අතර සැලකිය යුතු වෙනස්‌කම් තියෙනවා. ඉන් ප්‍රධාන වශයෙන්, මානසික ඒකාග්‍රතාව නොමැතිකම දක්වන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක්‌ ලෙස සුළු මොහොතකට හෝ සන්සුන් ව සිටීමට ඇති නොහැකියාව, ක්‌ෂණික අමතක වීම, පාඩම් කිරීමට අපොහොසත් වීම, කියන දේ නිවැරැදිව වටහාගැනීමට නොහැකි වීම, තරවටු කිරීම් හා දඩුවම් කිරීම් පිළිබඳව කිසිදු තැකීමක්‌ නො කිරීම ආදිය අධි ක්‍රියාශීලී දරුවන් තුළ කැපී පෙනෙන ගති ලක්‌ෂණ වෙනවා. තමාට සිතැගි පරිදි කටයුතු කරන මෙකී දරුවෝ එම වයසේ දරුවන් අතර වීරයකු ලෙස කටයුතු කිරීමත්, අසාමාන්‍ය සිතිවිලිවලින් යුක්‌ත වීමත්, අධික ලෙස ප්‍රචණ්‌ඩකාරී ලෙස හැසිරීමත් තුළින් මානසික තෘප්තියක්‌ ලැබීමට උත්සාහ ගන්නවා. මෙකී ලක්‌ෂණ සහිත අධි කියාශීලී දරුවන් සිටින මාපියන් දරුවා ගේ අසාමාන්‍යතා අවබෝධ කරගැනීමත් ඒ සඳහා සුදුසු පිළියම් අනුගමනය කිරීමත් අනිවාර්ය වන්නේ ඒ නිසයි.

 

තව ද අධි ක්‍රියාශීලී දරුවන් හඳුනාගැනීමට පන්තිභාර ගුරුවරුන් හට ද විශාල වගකීමක්‌ පැවරෙනවා. නිතර නිතර මාපියන් පාසලට කැඳවීමට ද සිදු වන්නේ ද, දරුවා ගේ අසාමාන්‍ය චර්යා රටා හේතු කොටගෙනයි. ගුරුවරුන් සහ මාපියන් යන දෙකොට්‌ඨාශය ම ළමා විය හා සම්බන්ධ මනෝ විද්‍යාත්මක විග්‍රහයන් පිළිබඳව දැනුවත් වී සිටීම යහපත් දරුවකු සමාජගත කිරීම උදෙසා ඇති මූලික අවශ්‍යතාවක්. මන්ද අධි ක්‍රියාශීලී දරුවන් ගේ ඉදිරි වර්ධනයත් සමග ඇති වන අයහපත් තත්ත්වයන් බොහොමයක්‌ වන නිසායි. නිසි වයසට නොගැළපෙන මුහුකුරා ගිය පෙනුමක්‌ තිබීම, කුඩා කල සිට ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමට උත්සාහ දැරීම, නිතර සොරකම් කිරීමට පෙලඹීම, අසාමාන්‍ය ලෙස බොරු කීම ආදිය අධි ක්‍රියාශීලී දරුවන් හඳුනාගැනීමට ඇති තවත් ලක්‌ෂණ වෙනවා.

 

අධි ක්‍රියාශීලී දරුවන් ගේ අනාගතය එතරම් යහපත් නැති බව නිසැක ව ම කිව යුතුයි.මන්ද ඔවුන් සතු අසාමාන්‍ය චර්යා රටා වර්ධනය වීම ඔස්‌සේ අධි කෝපකාරී බව, පෞරුෂමය අසාමාන්‍යතා, තම අභිප්‍රායන් ඉටු කරගැනීම අරමුණු කොටගෙන නිතර සියදිවි නසාගැනීමේ ප්‍රයත්නයන් දැරීම, මත්ද්‍රව්‍ය භාවිතය හා ඇබ්බැහි වීම ආදිය මූලිකව ඇති වි අවසානයේ විවිධ සමාජ විරෝධී ක්‍රියාවන්හි යෙදීම ආදිය අධි ක්‍රියාශිලීත්වය සහිත දරුවන් ගේ අනාගතය හා සමීපව බැඳී තියෙනවා. ඇමෙරිකානු ජාතික මනෝ විද්‍යාඥයන් දැනට සොයාගෙන ඇති පරිදි බොහෝ මිනීමැරීම්, සොරකම්, ස්‌ත්‍රී දූෂණ, ළමා අපයෝජන ආදී සමාජ විරෝධී ක්‍රියාවන්හි යෙදී නීතියේ රැහැනට හසු වී වර්තමානයේ පුනරුත්ථාපනය වෙමින් සිටින්නන් ගේ එකී චර්යාවන් ඇති වීම කෙරෙහි ළමා විය සංවර්ධනය සෘජු ව ම බලපාලා තියෙනවා. ඉන් ප්‍රධානතම සාධකය වන්නේ ළමා විය තුළ දී දැක්‌වූ අධි ක්‍රියාශීලීත්වය පිළිබඳව නිසි පිළියමක්‌ නො යෙදීමයි.

 

ඕනෑ ම මාපියකු ගේ එක ම බලාපොරොත්තුව තම දරුවන්ගේ අනාගතය සරුසාර කිරීම වන නිසා, දරුවන් ගේ ක්‍රියාකාරීත්වය, සිතුම් පැතුම්, ආකල්ප ආදිය පිළිබඳව දැඩි අවධානයක්‌ යොමු කිරීම අනිවාර්ය වෙනවා.එසේ ම ඉහත දැක්‌වූ අයුරින් අධි ක්‍රියාශීලී දරුවන් සිටී නම්, ළමා මනෝ විද්‍යාඥයකු ගෙන් උපදෙස්‌ පැතීම ඉතා යෝග්‍යයි. මන්ද එවිට මනෝ විද්‍යානුකූලව ඉදිරිපත් වී ඇති, විවිධ අභ්‍යාස ප්‍රතිකාර ක්‍රම ඔස්‌සේ දරවාගේ අසාමාන්‍ය චර්යාවන් වෙනස්‌ කිරීමේ හැකියාව ඇති නිසා. ළමා මනෝ උපදේශකවරයකු, මනෝ වෛද්‍යවරයකු හෝ මනෝ විද්‍යාඥයකු මුණගැසීම ලැඡ්ජාවට කරුණක්‌ නො වන අතර ඉන් දරුවාටත් පවුලටත් සමාජයටත් යහපතක්‌ සිදු වන බව තරයේ සිහි තබාගත යුතු ය.